ආපදා තත්ත්ව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආපදා සහන ලබාදෙන බව පවසමින් ජනතාව මුලා කිරීමේ කූට ව්‍යාපාරයක් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
නුවරඑළිය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දඹගොල්ලේ පදිංචි හීන්මැණිකා නම් කාන්තාවකගෙ නිවසට පසුගිය 10 වනදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරියෙකු ලෙස පැමිණ එම කාන්තාවගේ පවුම් එක හමාරක පමණ රන් මාලය රැගෙන ගිය පුවතක් වාර්තා වනවා.
මෙම කාන්තාව පවසන්නේ තම නිවසට වූ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් රජයෙන් අනුමත වී ඇති අතර එම මුදල ලබා ගැනීමට නම් රුපියල් 13,500 ක අත්තිකාරම් මුදලක් ලංකා බැංකුවේ ගිණුමක තැන්පත් කළ යුතු බව අදාළ නිලධාරියා පැවසූ බවයි.
එම අවස්ථාවේ තමා සතුව මුදල් නොතිබූ බැවින් ඇයගේ රන්මාලය උකස් කර මුදල් බැංකුවේ තැන්පත් කරන බව පවසා ඇති අතර 11 වන දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට පැමිණෙන ලෙසද මෙම කාන්තාවට දන්වා ඇත.
ඒ අනුව මෙම කාන්තාව තමාට හිමි වන්දි මුදල් ලබා ගැනීම සඳහා ඊයේ (11) නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන සම්බන්දිකරණ ඒකකය වෙත ගොස් ඇති අතර අදාළ පුවත සැලවීමෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා .
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මහජන සේවා සැපයීමේදී මෙන්ම ආපදා නිසා සිදුවන හානි වෙනුවෙන් සහන සැලසීමේ දී ද රජය කිසිදු මුදලක් අය නොකරන බවයි.
මෙවැනි වංචනික ක්‍රියා වලට නොරැවටෙන ලෙසත් එවැනි පුද්ගලයන් පිළිබඳව වාර්තා වුවහොත් ළඟ ම පිහිටි පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.




