නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවේ පාසල් ළමයින්ට නිවසේ සිටම හැදෑරීමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බවයි.
මෙලෙස ආරම්භ කර ඇති පාඨමාලා අතර මෝටර් කාර්මික ශිල්පය, හෝටල් සහ සත්කාරක පාඨමාලාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, විදුලි කාර්මික පාඨමාලා ඇතුළත්ය.
සීතා අරඹේපොල මහත්මිය පවසා සිටියේ තෝරාගත් රූපවාහිනී නාලිකා හා යූ ටියුබ් නාලිකා ඔස්සේ විකාශය කරන මෙම පාඨමාලා සඳහා 07 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට සම්බන්ධ විය හැකි බවයි. මෙම පාඨමාලා ඔස්සේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම සිදුකරන අතර පාඨමාලා අවසානයේ මාර්ගගත ක්‍රමයට විභාග (online exam) පැවැත්වීම සිදුවේ.
එම විභාගය සමත් වූ පසු වෘත්තීය පුහුණු ආයතනයක් සමඟ එක්ව ප්‍රායෝගික පුහුණුව ලබා එන්.වී.ක්‍යු (N.V.Q) සාධන මට්ටම දක්වා ඉදිරියට යාමට පාඨමාලා හදාරන්නන්ට අවස්ථාව ලැබෙන බවත් ඇය සඳහන් කළාය.
පෞද්ගලික ආයතන දෙකක් සමඟ එක්ව පාඨමාලා හදාරන සිසුන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් ද සැලසුම් කර ඇත. සීතා අරඹේපොල මහත්මිය තවදුරටත් පැවසුවේ පාඨමාලාවට සම්බන්ධවීම පිළිබඳ හා ඒ පිළිබඳ අනෙකුත් තොරතුරු එම රූපවාහිනී සහ යූටියුබ් නාලිකා ඔස්සේ ප්‍රචාරය කරන බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ වයස අවුරුදු 18 සම්පූර්ණ නොකළ සිසුන්ට මාර්ගගත විභාගවලට පෙනී සිටීමෙන් පසු සහතිකපතක් ලබාදී එම වයස සම්පූර්ණ කළ පසු වෘත්තීය පුහුණු ආයතනයක් හා එක්වීව ප්‍රායෝගික පුහුණුව ලබා රැකියා අවස්ථා උදාකරගත හැකි බවයි.
ඇය සඳහන් කළේ පසුගිය 18 වැනිදා මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන විකාශය වූ බවත් ඉදිරියේදී සෑම සෙනසුරාදා දිනකම විකාශය කරන බවත්ය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




