ISIS සංවිධානයට අයත් Interschool නමින් වට්ස්ඇප් සමූහයක් ගැන whatsapp සහ facebook සමාජ ජාල ඔස්සේ ලෙවපුරා කලක්තිස්සේ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් නොමඟ යැවූ පණිවිඩයකට ශ්‍රී ලංකා පොලිසියත් නොමග ගොස් ඇතැයි වාර්තා වනවා.
මෙම Interschool නමින් වට්ස්ඇප් සමූහයක් ක්‍රියාත්මක වන බවත් එම සමූහයට එක් වුවහොත් ඉන් ඉවත් වීමට නොහැකි බව පවසමින් whatsapp සහ facebook සමාජ ජාල ඔස්සේ සංසරණය වූ පණිවුඩය ගැන සොයා බලන ලෙස සඳහන්වූ , ශ්‍රී ලංකා පොලිසියේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ පොලිස් නිලධාරීන්ගේ අත්සන් සහිත ලිපියක පිටටපතක් ඊයේ සිට මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් පවතිනවා.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ ඉහළ නිලධාරීන්ගෙන් කළ විමසුමකදී එම ලිපිය හා තොරතුරු නිවැරදි බව තහවුරු කර ඇති අතර , ඒ අනුව පසුගිය 23 වනදා බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි එච්.සී.ඒ.පුෂ්පකුමාර මහතා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එම බුද්ධි තොරතුර දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සුදුසු අංශයක් මගින් විමර්ශනයක් පවත්වන ලෙස ද යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි සේවය,ආරක්ෂක අමාත්‍යාංශය සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අමාත්‍යාංශය පවසන්නේ ISIS සංවිධානයට අයත් බව හගවමින් inteschool නම් වට්ස්ඇප් සමූහයක් පිළිබඳව පැතිරෙන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවයි.
2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ පමණක් නො ව රටවල් ගණනාවක ප්‍රචාරය වූ මෙම පණිවිඩය 2019 වසරේ පාස්කු ප්‍රහාරය අවස්ථාවේ දී ද මෙරට සමාජ ජාල තුළ ප්‍රචාරය වී තිබෙන අතර ISIS සංවිධානය විසින් interschool නමින් whatsapp සමූහයක් පවත්වාගෙන නොයන බව ප්‍රවෘත්ති සත්‍ය පරීක්‍ෂා කිරීම් සිදුකරන පරික්ක්ෂකන් (Fact Reasearchers )විසින් 2017 වසරේ සිටම ද තහවුරු කර ඇත.
බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් නොමඟ යැවූ මෙම පණිවිඩයේ සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් Factcrescendo ආයතනය විසින් ද පරීක්ෂණයක් පවත්වා පසුගිය දින ප්‍රකාශයටපත්කර තිබුණි.
ඒ අනුව යම් සමූහයකට සම්බන්ධ වුවහොත් ඉන් ඉවත් වීම සම්බන්ධයෙන් whatsapp ආයතනය පවසන්නේ තමා යම් සමූහයකට සම්බන්ධ වූ විට ඕනෑම අවස්ථාවක ඉන් ඉවත් වීමට හැකි අතර එම සමූහයෙන් ඉවත් වීමට පෙර හුවමාරු වූ පණිවිඩ බැලීමේ හැකියාව ද ඇති බවයි. තව ද සමූහයේ නිර්මාණකරුට (admin) යම් අයෙක් ඉන් ඉවත් වීම වැළැක්විය නොහැකි බවයි.
මේ පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක සංසදය පවසා ඇත්තේ තමන් නොදන්නා කිසිදු සමූහයකට සම්බන්ධ නොවන ලෙසත් තම පෞද්ගලික තොරතුරු කිසිසේත් එම සමූහයන්ට යොමු නොකරන ලෙසත් ය.
ඒ අනුව අදාළ whatsapp පණිවුඩය ව්‍යාජ බවට තහවරු වී ඇති අතර මෙවැනි ව්‍යාජ තොරතුරු හුවමාරු කිරීමෙන් සැබෑ තොරතුරු සැඟවයාමේ අවදානමක් පවතින බව එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කරනවා.
ඒ අනුව බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ටාශය විසින් රාජකාරි කටයුතු හා රටේ ආරක්ෂාව සම්බන්ධව හවමාරුකරගත් ලිපිය ජනතාව වෙත මුදාහැරීම ඉතා භායානක තත්වයක් වන අතර, එය ඉතා පදනම් විරහිත ලිපියක් ද බැවින් රටේ වගකිවයුතු ආයතනයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව මීට වඩා සැළකිලිමත් විය යුතු යැයි අපි සිතමු.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




