ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (23) පැවැත්වීමට නියමිත සර්වපාක්ෂික සමුළුවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය සහ මනෝ ගනේෂන් ප්‍රමුඛ විපක්ෂයේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්පොන්නම්බලම් ද මෙම සමුළුවට සහභාගී නොවන බවයි වාර්ථා වන්නේ.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළුවකට සහභාගී වන බව අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (21) ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ අනෙකුත් පක්ෂ ගන්නා තීරණ එක්සත් ජාතික පක්ෂයට අදාළ නොවන බවත් අද රට මුහුණ දී සිටින දැවෙන ප්‍රශ්න විසඳා ගැනීමට පක්ෂ භේද අමතක කර එකතු වී පොදු වේදිකාවක් ඇති කර ගැනීමට කාලය එළැඹ ඇති බවයි.
මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මේ සඳහා සහභාගී නොවන බවයි ප්‍රකාශ කළේ.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙතෙක් ඔවුන්ගේ තීරණය ප්‍රකාශයට පත්කර නැත.
එමෙන්ම මෙම සමුළුව සඳහා සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ද සහභාගී නොවන බව තහවුරු කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




