"බිළී පිත්තක් වෙනුවට මාළු කෑල්ලක් දෙන ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනි"
පවතින අයවැය තවදුරටත් යථාර්ථවාදී නොවන හෙයින් ඉතා ඉක්මනින්ම නව අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එමෙන්ම වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ ද්‍රවශීලී සංචිතය රුපියල් මිලියන 50ක් වත් නැති බවයි.
" එකිනෙකාට ඇඟිලි දික් කරගත් පමණින් ඩොලර් ලැබෙන්නේ නැහැ. එම නිසා පාට පක්ෂ භේද අතහැර රටක් ලෙස එක්ව වත්මන් අර්බුදය විසඳීමට පියවර ගත යුතුයි. පක්ෂ, පාටවලට බෙදිලා සටන් කරනව වෙනුවට මේ ආර්ථිකය කඩා වැටෙමින් තිබෙන තැන යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය කරලා ප්‍රකෘත්ති තත්ත්වයට ගෙන එ්මට. ඉන්දියාව වගේ නිවැරැදි තැනකට ගන්නවාද නැත්නම් වැරැදි තැනකට ගිහින් වෙනිසියුලාව වගේ, එහෙම නැත්නම් ලෙබනනය වගේ මීට වඩා බරපතළ තැනකට ගෙන යනවද කියන සම්පූර්ණ වගකීම අප ඉදිරියේ තිබෙනවා.""මේවා සියලු දෙනා විසින්ම සිදුකර තිබෙනවා. මම මේ දේවල් කියන්නේ කාටවත් ඇගිල්ල දිගු කරන්නට නොවෙයි. එන්න එන්නම වැඩි පොලී අගයන් යටතේ ණය ගෙන ඇති ප්‍රමාණය වැඩි වී තිබෙනවා. මෙය ජාතික ප්‍රශ්නයක්. අපි වැරදි කළේ නැහැ කියන එක නොවෙයි මම කියන්නේ. ඒක නොවෙයි මම කියන්න උත්සාහ කරන්නේ. අපි වගකියන්නේ මේ රටේ ජනතාවට. අපි පෙනී සිටින්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. කවූරුවත් ආරක්ෂා කරන්නට මම කටයුතු කරන්නේ නැහැ. අපි කිසිම දෙයක් හංගලා නැහැ. අද අපි ඉදිරිපත් කරන වාර්තාව ඔබතුමාලාට ලැබුණම තේරෙයි. අපි කිසිම දෙයක් හංගලා නැහැ. බොරුවට සීනි තවරපු හොඳ ප්‍රතිරූපයක් ඇති කරන්නට අපි උත්සාහ කරන්නේ නැහැ. අපි සිටින යථාර්ථය තේරුම් ගත යුතුයි. මම දැක්කා එක්තරා වෙබ් අඩවියක තිබුණා මම කිව්වා කියලා මෙම ප්‍රශ්නය මාසයකින් විසඳනවා කියලා. එහෙම නම් මම පිස්සෙක් විය යුතුයි. මාසෙකින් තියා අවුරුදු දෙකකින්වත් මෙම ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නැහැ. අවුරුදු දෙකකින් විසඳුම් දෙන්න පුළුවන්ද නැත්තම් එය අවුරුදු පහක් දහයන් දක්වා ගෙනයනවද කියන එක අපි සියලු දෙනාගේ අතේ තිබෙන්නේ.ඒක තමයි ඇත්ත කතාව.මිනිස්සු හිතනවානම් කවුරුහරි ආපු පමණින් මේවට විසඳුම් දෙනවා කියලා කීයටවත් ඒක වෙන්නෙ නැහැ."
"සියලූම ආණ්ඩු යැපුම් මානසිකත්වය මත මිනිස්සුන්ට බිළී පිත්තක් දෙනව වෙනුවට මාළු කෑල්ලක් දීලා ඒ වේලාවේ සන්තෝසම් දීලා කාලයක් තිස්සේ ණය බරිත කරපු එකේ ප්‍රතිඵලය අද භුක්ති විදින්නේ. අපේ පසුගිය කාලය තුළත් ගත යුතු තීන්දු තීරණ වැරැදි ප්‍රතිපත්ති මත අරන් තිබෙනවා. බදු කැපීම, අන්තර්ජාතික මූල්‍ය අරමුදලට නොයෑම, ඩොලර් එන අල්ලගෙන සිටීම, ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා කල් ගත වීම නොකළ යුතුව තිබුණා. එය ආණ්ඩුව පැත්තෙන් වුණ වරදක්. ඒ ස්වයං විවේචනය පිළිගන්න අපිට අයිතියක් තිබෙනවා. අපිට ඒකට ශක්තියත් තිබෙනවා. අපේ පාලනයෙන් තොර වුණ කොරෝනා උවදුර සහ යුක්ක්‍රේනයේ යුද්ධය. ලංකාවේ විතරක් නොවෙයි, ලෝකයේ හැම රටකටම එය බලපා තිබෙනවා. අමෙරිකාවේ වසර 50කට පසුව ලොකුම උද්ධමනය තිබෙනවා. යුරෝපයේ එහෙමයි. පකිස්තානයත් මීට මුහුණ දෙනවා. ඊජිප්තුවත් මුහුණ දෙනවා."
"මේ වසරේදි අපි සියලු දෙනා එකතු වෙලා පක්ෂ පාට භේදවලින් තොරව අපි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලුවේ නැත්නම් බිලියන තුනකට විතර බහින්න පුළුවන්. ආයෝජකයෝ ගෙන්වා ගන්න ඕනෑ. මේ තියෙන තත්ත්වය උඩ ආයෝජකයෝ එන්නේ නැහැ. ඒ වගේම හැකි ඉක්මනින් ණය ටික ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෑ. යළි මුදල් වෙළෙඳ පොළට ගිහින් යම් ප්‍රමාණයකින් ආයෝජන සහ ණය ගැනීම සඳහා ද්‍රවශීලතාව ඇති කරගන්න ඕනෑ. මේ හතර හැරුණම වෙන කිසිම විදියකින් ප්‍රශ්නයට විසඳුම් නැහැ. එය සිදු කරන්න නම් ඔළු ගොඩි මාරු කරන එකවත් වෙන දෙයක්වත් නොවෙයි. මම මේ කරන්නේ නයිට් වොච්මන් කෙනෙක්ගේ ජොබ් එක. ක්‍රිකට්වල තිබෙනවා හවසට විකට් යන්න ගියාම ඉිදිරි පෙළ ආරක්ෂා කිරීමට පසු පෙළ පුද්ගලයෙක් ඇවිල්ලා විකට් එක බේර ගන්න එක. මම මේ වේලාවේ කරන්නේ ඒක. මම ආර්ථික විද්‍යාඥයෙක් නොවෙයි. මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් වැඩ ටික කරනවා. ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවා නම් එන්න. ඇවිල්ල මේක බාර ගන්න. අපි මේක දෙන්නම්"
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




