ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබා ගැනීමේ චෝදනාවකට අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් වරදකරු ලෙස තීන්දු කළා.
ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළ අතර එය වසර 5 කට අත්හිටුවා තිබෙනවා.
මීට අමතරව රුපියල් මිලියන 25ක දඩ මුදලක් ද නියම කර ඇති අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතර මාස 9ක සිර දඬුවමක් ද නියම කළා.
මෙම නඩු තීන්දුවට අනුව අගතියට පත් ව්‍යාපාරිකයාට ද රුපියල් බිලියනයක වන්දියක් ගෙවිය යුතු අතර එම වන්දිය ගෙවීම පැහැර හැරියහොත් අමතර මාස 3ක සිර දඬුවමක් ද නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
2015 වසරේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය දීමට සහ එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සදහා ගිහාන් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක් ඉල්ලා තර්ජනය කිරීම සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




