ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිදු කරමින් ඔහු කියා සිටියේ වසර 45 ක සිය පාර්ලිමේන්තු ජීවිතය තුළ ලබා දුන් මෙම ගෞරවයට ස්තූතිවන්ත වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ ,
"මම අවුරුදු 45ක් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරලා තියෙනවා. මගේ ජීවිතේ තිබුණේ මේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවෙන් මේ ගෞරවය ලබාදීම ගැන මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා.
අද රට තියෙන තත්ත්වය ගැන ඔබතුමන්ට කියන්න උවමනාවක් නෑ. කොච්චර අමාරු තත්ත්වයක ද කියලා. ආර්ථික වශයෙන්, තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. ලෝකයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපිට පැටලෙන්නේ නැතිව ඉදිරියට යන්න තියෙන්නේ. අපිට අලුත් වැඩසටහනක් ඇති කරන්න තියෙනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනය නෙමෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතුවෙලා මේ වැඩකටයුතු කරන එක. මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මා එක්ක තරග කළ ඩලස් අලහප්පෙරුම මැතිතුමාටත් අනුර කුමාර මැතිතුමාටත් මම ස්තූතිවන්ත වෙනවා. මම ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලනවා අපි ඔක්කෝම එකතුවෙලා අලුත් ක්‍රමවේදයක් ගැන වැඩකටයුතු කරමු.
මගේ මිත්‍ර අනුර කුමාර දිසානායකගෙනුත් ඉල්ලීමක් කරනවා, එතුමා දන්නවා රටේ තියෙන ගැඹුරු තත්ත්වය. මම කැමතියි විපක්ෂ නායක මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මහතාගෙනුත් ඒ සියලුදෙනාගෙනුත් ඉල්ලීම් කරන්න අද අපි ඔක්කෝම එකට එකතුවෙලා අපි අලුත් ක්‍රමවේදයක් බලමු. ඒ ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් මන්ත්‍රීතුමා ඇතුළු සියලුදෙනාගෙනුත් මම ඒ ඉල්ලීම කරනවා. අපේ පොන්නම්බලම් මන්ත්‍රීතුමාත් විග්නේෂ්වරන් මන්ත්‍රීතුමාගේනුත් ඒ ඉල්ලීම කරනවා අපි ඔක්කෝම එකට එකතුවෙන්න කියලා. ඒ වගේම පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙනුත් පක්ෂය වෙනුවෙන් ඒ ඉල්ලීම කරන්න. ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙනුත් ඒ ඉල්ලීම කරනවා. දැන් අපි බෙදුන වේලාව ඉවරයි. පැය 48ක් තිබුණා බෙදෙන්න. දැන් මම ඉල්ලනවා සියලුදෙනාගෙන්ම එකට එකතුවෙන්න සාකච්ඡා කරන්න. හෙට ඉඳලා මම කැමතියි සාකච්ඡා කරන්න.
කථානායකතුමනි මට තවත් එක ඉල්ලීමක් තියෙනවා. මේ සභාව තුළ නෙමෙයි සභාවෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දී මම දිවුරුම් දෙන්නම් ජනාධිපති හැටියට."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.