මෙරට උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (6) පැවසුවා.
මේ වසරේ 7 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළා.
මහ බැංකු අධිපති වරයා කියා සිටියේ සැප්තැම්බර් මාසයේ දී උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළා ට වඩා ඉහළ ගිය බවත් මෙම ප්‍රවණතාව ඉදිරියටත් පවතිනු ඇති අතර දෙසැම්බර් මාසය වනවිට උද්ධමනය අඩු වී ලබන වසරේ දී තවදුරටත් උද්ධමනය අඩු වනු ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතුවෙන් මෙලෙස උද්ධමනය අඩු වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉහළ පොලී අනුපාත නිසා ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇතැයි ඇතැම් පාර්ශව චෝදනා කරන බව කී අධිපතිවරයා එසේ ව්‍යාපාරික කටයුතු යනාදිය කරගත නොහැකි වී ඇත්තේ පොලී අනුපාත ඉහළ යෑම නිසා නොව උද්ධමනය ඉහළ යෑම නිසා යැයි ද උද්ධමනය තවදුරටත් ඉහළ ගියහොත් ව්‍යාපාර කඩා වැටෙනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලී අනුපාත ඉහළයක පවත්වාගෙන යන්නේ උද්ධමනය පාලනය කරගනිමින් අඩු කරගැනීමට බවයි.
මේ අතර ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, “අපි දන්නා පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳ කිසිවක් සන්නිවේදනය කර නැහැ.” බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




