නිරෝධායනයට ලක් කර සිටි හලාවත – රඹේපිටිය විහාරස්ථායේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේ නමක් හදිසියේ ඇති වූ අනතුරකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා හලාවත මහා රෝහලට රැගෙන එන අතර තුර අපවත් වී තිබෙනවා.
අපවත් වී ඇත්තේ නුගගොල්ලේ ඥානතිලක (අවු:42) නම්වූ ස්වාමීන් වහන්සේ නමක්.
හලාවත – මුගුණුවටවන පදිංචි වයස අවුරුදු 55 ක් වන කාන්තාවක් කොරෝනා ආසාදිත අයෙකු බවට පසුගිය 20 වැනි දින හදුනා ගෙන තිබෙනවා.
එම කාන්තාව පසුගිය 19 වැනිදා රඹේපිටිය විහාරස්ථානයේ පැවති බෝධි පුජා පිංකමකට සහභාගි වී තිබෙනවා.
බෝධි පුජාවට සහභාගි වූ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු ගම්වාසීන්ව නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණා.
මේ අතර නීරෝධායනය වෙමින් සිටි ස්වාමීන් වහන්සේ 23 වැනිදා සවස තම විහාරස්ථාන තුළ හදිසි ඇද වැටීමකට ලක්ව තිබෙනවා.
අනතුරුව උන් වහන්සේ ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහල කරා රැගෙන එමින් සිටින අතර තුර අපවත් වී තිබෙනවා.
අපවත්වී ඇති ස්වාමීන් වහන්සේගේ දේහය මේ වන විට හලාවත මහා රෝහලේ තැම්පත් කර තිබෙන අතර උන්වහන්සේගේ සිරුර පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කිරීමටද වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.




