කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා වන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල හෙවත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් පෞද්ගලික අංශයට ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කරමින් සිටින බවත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් මෙරටට ගෙන්වීම හොරෙන් සිදු කළ ක්‍රියාවලියක් නොව නිසි ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදු කර ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
පුද්ගලයකුට කොවිඩ් -19 වැළඳී ඇත්දැයි කෙටි කාලයක් තුළදී හඳුනාගත හැකි මෙම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්කිට් කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂය සිදු කරන විවිධ චෝදනා නිසා විශේෂඥ වෛද්‍යවරු පවා මෙම කමිටු වල පෙනීසිටීමට මැළිකමක් දක්වන බවත් මෙම ප්‍රශ්න කිරීම් නිසා මෙම ක්‍රියාවලිය තව තවත් ප්‍රමාද වන බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, මෙමගින් ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන ගම්පහ,කොළඹ වැනි දිස්ත්‍රික්කවල මෙම රෝගය පාලනය කර ගැනීමේ අවස්ථා ප්‍රමාද වන බවත් පෙන්වා දුන්නේය
මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව මෙරටදී සිදු කිරීම පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් අවසරය ලැබුණු පසු රාජ්‍ය අංශයෙන් මෙය මිලදී ගැනීම සඳහා ඉල්ලීමක් ලැබුණු බවත් ඒ අනුව කට්ටල ලක්ෂ 12 1/2 ඉල්ලුම් කළ නමුත් එම කට්ටල මෙරටට ළඟා වීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වන වන බව ලෝ සෞඛ්‍ය සංවිධානය සඳහන් කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එබැවින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ මැදිහත් වීම මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්දියානු කාර්යාලයෙන් එම කට්ටල ලක්ෂ 02ක් මෙරටට ගෙන්වීමට කටයතු කළ බවත් ,තවත් කට්ටල ලක්ෂ 3ක් ආසියානු සංවර්ධන බැංකුව හරහා ලබා ගැනීමට කටයුතු කළ බවද කීය. එහෙත් එම ප්‍රමාණයද ප්‍රමාණවත් නොවන බැවින් පෞද්ගලික අංශය හරහා නිසි ටෙන්ඩර් පටිපාටියකට අනුකූලව එම කට්ටල මිලදී ගැනීමට තීරණය කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට මේ පිළිබඳව දැන් වූ බවත් හදිසි මිලදී ගැනීම් යටතේ නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කළ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියේ මේ පිළිබඳව දැන්වීම් පළ කළ බවත් පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙය හොරෙන් කළ ක්‍රියාවක් නොවන බවයි.