ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇති ඉල් පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් සැටනම අමතා 'චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං' යනුවෙන් 'මහණෙනි බොහෝ දෙනාගේ හිත සුව පිණිස, බොහෝදෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව්මිනිසුන්ට හිත වැඩ හා සැප පිණිස චාරිකාවේ හැසිරෙන්න' යනුවෙන් අවවාද දී ප්‍රථම වරට ධර්මදූත සේවයේ යොදවන ලද්දේ අද වන් ඉල් පුර පසළොස්වක පොහොය දිනයකය.
ආර්ය මෛත්‍රිය භික්ෂූන් වහන්සේ නමින් වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් චීවර මාසය අවසානයේ තමන්ට ලැබුණු වස්ත්‍ර දෙකින් එකක් බුදුරදුන්ගේ ගඳකිළියෙහි වියනක් කොට බැඳ අනෙක් වස්ත්‍රය ඉරා එක කෙළවරක් දර්ශනීය ලෙස එල්ලා බුදුරදුන්ට පූජා කළහ. මෙම මහා පුණ්‍ය ක්‍රියාවෙන් සොම්නසට පත්ව ඒ පිළිබඳව විමසා බැලූ අප බුදුන් වහන්සේ එම භික්ෂුව අනාගතයේ මෛත්‍රී නමින් බුදුවන බව ප්‍රකාශ කළහ.එබැවින් මෙත් බෝසතුන් උතුම් වූ විවරණ ලබන ලද්දේ මෙවන් ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.
තුන් බෑ ජටිලයන්ට පෙළහර දැක්වීමෙන් දමනය කර, පහදවා පිරිවර සහිතව පැවිදි බිමට පත් කර, පසුව 'ආදිත්ත පරියාය සූත්‍රය' දේශනාකොට ඒ සැමට රහත්භාවය ළඟාකර දෙමින් ශාසනික සේවය සඳහා තුන් බෑ ජටිලයන් වෙත සම්බුදුරදුන් වැඩමවන ලද්දේද ඉල් පුර පසොළොස්වක පොහොය දිනකය.
පසුවස් සමාදන්ව උසස් ගුණදහම් වැඩිදියුණු කරමින් සිටි භික්ෂූන් වහන්සේලා මහා පවාරණය සිදුකළේද ඉල් පුන් පෝ දිනකය. අගසව් සැරියුත් මා හිමියන් සිය නිවසේදී පිරිනිවන් පා වදාළේ මෙවන් පොහෝ දිනකය. එසේම කඨින පූජා පැවැත්විය හැකි අවසාන දිනය වශයෙන්ද ඉල් පුර පසොළොස්වක පොහොය සඳහන් වෙයි.




