වයස අවුරුදු හැටෙන් විශ්‍රාම යෑමට අකමැති පෞද්ගලික අංශයේ සේවකයින්ට අවුරුදු පනස් පහේදී සේවක අර්ධසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට අයිතිය දෙන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (23 වැනිදා) ප්‍රකාශ කළේය.
මේ සඳහා පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවැසූ ඇමැතිවරයා වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ සම්මේලනය සමග සාකච්ඡා කර තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්තිට උපදෙස් දුන්නේය.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මෙම උපදෙස් ලබා දුන්නේ පෙරේදා (22) කම්කරු අමාත්‍යංශයේ පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදීය.
වෘත්තීය සමිති නායකයන් සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
අවශ්‍ය නම් තම සාමාජිකයන්ට වයස අවුරුදු 55න් විශ්‍රාම යාමට ඇති අයිතිය තහවුරු කළ යුතුය යන මතය වෘත්තීය සමිති නායකයින් විසින් පිළිගත යුතු බව කී ඇමැතිවරයා එසේ පනස් පහෙන් විශ්‍රාම යන්නේ නම් ඔවුන්ට ඒ අවස්ථාවේ තම අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබාදීම සාධාරණ බව කීය.




