දැනට උද්ගතව ඇති තත්ත්වය මත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හෙට සහ අනිද්දා (13 සහ 14 දින ) පාර්ලිමේන්තු සංකීර්ණයේදීම පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමට තීරණය කර ඇත.
ඇන්ටිජන් පරික්ෂණයකට ලක් කිරීමට මින් පෙර තීරණය කර තිබුණ අතර එම තිරණය වෙනස් වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කැමැතිනම් පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ පී.සී.ආර්. පරික්ෂණයට ලක්වන ලෙසට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉල්ලීමක් කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම හා අගමැතිවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම්වරයාගේ පැමිණීම හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය මත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව ද ආසාදිතයන් ගමන් ගත් ස්ථාන සියල්ල විෂබීජානුහරණයට ලක් කර අවසන් බවද පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේය.




