ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් වටිනා පීසීආර් පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කිරීම පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දකුණු කොරියානු රජයට සිය කෘතඥතාව පළ කළේය.
සමස්ත ලෝකයටම මුහුණදීමට සිදුවන මෙවැනි අර්බුදවලදී එම බලපෑම අවම කිරීමට අන්තර්ජාතික සහයෝගීතාව අතිශය වැදගත් බව මෙහිදී කථානායකවරයා පෙන්වා දුන්නේය. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා - කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමකට ( 07 ) සහභාගී වෙමිනි.
කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට කොරියානු ජනරජයේ තානාපති ජොන්ග් වුන්ජින්ග්,කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගී වූහ.
ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කරමින් 2020 දෙසැම්බර් 8 වන දින එහි 43 වන සංවත්සරය සමරන්නට ලැබීම සතුටට කරුණක් බවත් කථානායකවරයා පැවසීය. 1984 දී ගරු. ඊ.එල්. සේනානායක මහතා කථානායකවරයා ලෙස කටයුතු කරන සමයේ ආරම්භ කළ මෙම සංගමයේ සභාපති ධුරය රනිල් වික්‍රමසිංහ,අභාවප්‍රාප්ත ධර්මසිරි සේනානායක , අභාවප්‍රාප්ත නෝමන් වෛද්‍යරත්න වැනි මන්ත්‍රීවරුන් විසින් දරනලද බව කථානායකවරයා මෙහිදී සිහිපත් කළේය.
එසේම කොරියානු ජනරජයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් 2019 දී ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 520 ක මුදලක් ලැබුණු බවත් ශ්‍රී ලංකා ආර්ථිකයට එහි දායකත්වය සුවිසල් බවත් කථානායකවරයා තවදුරටත් පැවසීය.
දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය චුන් හොං මහතා 2013 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කළ නිල සංචාරය සහ දෙරටේ සබඳතා ශක්තිමත් කළ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා 2017 නොවැම්බර් මාසයේදී කොරියාවේ කළ රාජ්‍ය සංචාරයන් මෙහිදී කථානායකවරයා සිහිපත් කළේය.
රැස්වීම අමතමින් තානාපති ජොන්ග් වුන්ජින්ග් කියා සිටියේ අනාගතයේදී COVID 19 වසංගතයේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බවයි.




