නිදහස් දින සැමරුම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යවත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ ඉතා චාම් අයුරින් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
යුද හමුදා නිලධාරීන් 4325 දෙනෙකු, නාවික හමුදා නිලධාරීන් 868 දෙනෙකු, ගුවන් හමුදා නිලධාරීන් 945 දෙනෙකු, පොලිස් නිලධාරීන් 1382 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 දෙනෙකු ද මෙවර සැමරුම් උළෙලට එක්වීමට නියමිතයි.
සියලු ජාතීන් නියෝජනය වනපරිදි සාම්ප්‍රදායික සංස්කෘතිකාංගයන්ද මෙවර ජාතික නිදහස් දින උත්සවයට එක්කර තිබේ.
නිදහස් දිනයට සමගාමීව ජාතික රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මකවන අතර අද පෙරවරු 9.29ට යෙදෙන සුභ නැකතින් පැළයක් සිටුවා මතුපරපුර සහ පරිසරය වෙනුවෙන් තම වගකීම ඉටුකරන ලෙස රජය මහජනතාවට දැනුම්දෙයි.