Header Ads

උණුසුම් පුවත්

ජීවිත පූජා කළ,ලේ, දාඩිය, කදුලු, හෙලූ විරුවන් උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරමු. - විපක්ෂ නායක

 


නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන සැමරුම වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවුඩය නිකුත් කර ඇත.

එම පණිවුඩය පහතින්.

දේශයේ සැබෑ නිදහස වෙනුවෙන් පෙරට එමු.

දේශයේ අභිමානවත් නිදහස් සැමරුම අදට යෙදී තිබේ.අපේ මාතෘභූමියට නිදහස ලබා ගැනීම උදෙසා ජාති ආගම් පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනාම එක මවකගේ දරුවන් සේ කටයුතු කළ ඉතිහාසය අතිශයින්ම හැගුම්බරය. .

ස්වෛරී රටක එකම ධජයක සෙවනෙහි සහෝදරත්වය පෙරදැරිව ජීවත්වීමේ පවිත්‍ර අපේක්ෂාවන් ඔවුන් තුල වූහ.

ඒ උදෙසා ස්වකීය ජීවිත පූජා කළවුන්ද, ලේ, දාඩිය, කදුලු, හෙලූ විරුවන්ද උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරමු.

ඔවුන්ගේ ප්‍රාණ වායුව මේ රටේ උදාර ඉතිහාසයේ අනභිභවනීය සටහනක් වෙනවා මෙන්ම ඔවුන්ගේ ඉතිහාසය අපට කියාදෙන අපූර්වතම පණිවිඩය වන්නේ එක්ව සමඟියෙන් ඉදිරියට යෑමෙහි වටිනාකමයි.

කෙසේ වෙතත්, දේශයක් ලෙස ලද ජයග්‍රහණ, ලැබූ පසුබෑම් මෙන් ම පරාජයන් ද ඉක්ම ගිය වසර 73 තුළ අපට අත්දැකීම් සපයයි. බාහිර අතපෙවීම් තුලින් දේශයේ ස්වෛරීත්වයට බලපෑම් වීමට නොදීමත්,දේශීය සම්පත් සුරක්ෂිත කිරීමත් දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික, ආගමික, මාධ්‍ය යනාදී සකලවිද අභ්‍ය න්තර නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සුරක්ෂිත කිරීමත් අප ඉදිරියේ ඇති අභියෝගය යි.

එමෙන්ම ලෝකය දිනන, ප්රෞඩ දේශයක් ලෙස ශක්තිමත් ව පෙරට ඒමේ බලය සමස්ථ ජනතාවට ලබා දෙන, උතුම් මානව සබදතා වලින් පරිපූර්ණ ප්‍රබුද්ධ සමාජයක් අපගේ ප්‍රාර්ථනය විය යුතුය. දේශයේ ස්වාධීනත්වයට, ස්වෛරීත්වයට මෙන්ම භෞමික අඛණ්ඩතාවට ගරු කරන සියලු ජන කොටස්වල සංස්කෘතික හා ජාතික අනන්යතාව සුරක්ෂිත කිරීමට කැපවෙන අරමුණු අප කා තුලත් වර්ධනය විය යුතුය.

මහාමාන්‍ය  ඩී.එස් සේනානායකයන් අරුත් ගැන්වූ පංචවිද නිදහස අර්ථවත් කොට එය සැබෑවක් කිරීමට පෙළ ගැසීම සමස්ත පුරවැසියන්ට පැවරෙන අත් නොහැරිය හැකි වගකීමකි.

ඒ වෙනුවෙන් ඇප කැපවෙන උදාර මිනිසුන් අනාගත ස්වර්ණමය ශ්‍රී ලංකාවේ  ශ්‍රේෂ්ඨතම වීරයින් වනවාට සැක නැත.

සජිත් ප්‍රේමදාස,

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක.