පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීමට පෙර කඩු හා උල් ආයුධ 6000 ක් පමණ මෙරටට ගෙනැවිත් බෙදා හැර තිබීම ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට බලකරන නියෝගයක් ආරක්ෂක අංශවලට නිකුත් කරන්නැයි ඉල්ලා මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් ගොනු කර තිබූ පෙත්සමක් විභාග කිරීමට ඊයේ (18 වැනිදා) තීරණය කළේ ය.
අභියාචනාධිකරණය ඒ සඳහා පොලිස්පති සහ ආරක්ෂක ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට මාර්තු 05 දා උසාවියේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කළේය. පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අංශ සිදු කළ විමර්ශනවලදී මුස්ලිම් පල්ලි තුළ තිබී කඩු 400ක් පමණ සොයා ගෙන ඇති බවත් ඉතිරි ආයුධ 5400ට සිදුවූ දෙයක් ගැන තොරතුරක් නැති බවත් ඒවා පුද්ගලයන් සන්තකයේ තිබෙන්නට ඉඩ හැරීමෙන් රටේ භයානක තත්ත්වයක් උදාවිය හැකි බැවින් ඒ ගැන සොයා බැලිය යුතු බවත් අගරදගුරු තුමන් විසින් පෙත්සමේ සඳහන් කරනු ලැබ ඇත.
චීනයෙන් ආනයනය කර තිබූ ඒ කඩුවලට මුදල් ගෙවා ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බෝම්බය පුපුරුවාගෙන මියගිය මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාප් නමැත්තා බවත්, එම ආයුධ තොග රේගුව හරහා මෙරටට ගෙනාවේ කවර කාරණාවක් සඳහාද යන්න පිළිබඳව බෝම්බ පිපිරීමේ සිද්ධිය වී වසරකට වැඩිකලක් ගතවී ඇතත් ආරක්ෂක අංශ විසින් නිසියාකාර පරීක්ෂණයක් සිදුකර නැති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.