කොළඹ නගරයේ පවතින ඉඩම් හිඟය හේතුවෙන් වැඩි වෙමින් පවතින නිවාස ඉල්ලුම සපුරාලීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන මහල් නිවාස ඉදි කිරීම පිණිස රජය විසින් අවධානය යොමු කර තිබෙනවා.
අක්කර 12ක පමණ භූමි භාගයක, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන කොළඹ 05, කැප්පෙටිපොළ පාරේ පිහිටි 1976 වර්ෂයේදී ඉදි කරන ලැබ ඇති නිවාස ඒකක 176කින් සහ බංගලා 15කින් යුතු සමුළු නිවාස දැනට රජයේ සේවකයින්ගේ නිල නිවාස අවශ්‍යතා සඳහා භාවිත කරනු ලබනවා.
එම නිවාස බොහොමයක් මේ වන විට අබලන් තත්ත්වයේ පවතින අතර සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිර්දේශ කර තිබෙනවා.
තවද, මේ වන විට රජයේ සේවකයින් 700ක් පමණ පොරොත්තු ලේඛනගතව නිල නිවාස අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වන්නේ.
එම කරුණු සැලකිල්ලට ගෙන ප්‍රථම අදියර වශයෙන් එම අක්කර 12ක භූමියේ අක්කර 02ක රජයේ සේවකයින් සඳහා නිල නිවාස 400ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අතර එකඟතාවක් ඇති කර ගෙන තිබෙනවා.
යෝජිත ව්‍යාපෘතිය යටතේ දැනට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කෙරෙමින් පවතින මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමවලින් නිවාස 100ක් ද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත පවරා දෙනු ඇති.
ඒ අනුව, ඉතිරි වන අක්කර 10ක භූමි ප්‍රමාණය සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දෙනු ඇති.
යෝජිත පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.