කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51 ක දෛනික ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයාගේ සේවයද ඒ සමගම අත්හිටු වීමට පියවර ගත් බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා අද (17) පැවසීය.
සෞඛ්‍ය අංශ මගින් ලබා දී තිබූ උපදෙස් උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් ප්‍රවාහනය කරන බවට පසුගිය කාලය පුරා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන ප්‍රාදේශීය කාර්යාල හතකට පැමිණිලි රැසක් ලැබී තිබුණි.
ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ උපදෙස් මත මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා කොළඹ අංක 4 කාර්යාලය යටතේ පාලනය වන පෞද්ගලික බස් රථ 1078 පරීක්ෂාවට ලක් කර තිබේ.
ඒ අවස්ථාවේදී ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ මෙම පෞද්ගලික බස් රථ 51 හඳුනා ගෙන ඇත.
මෙම බස්රථ පිටකොටුව සිට කොට්ටාව, හෝමාගම, මහරගම, මත්තේගොඩ, අවිස්සාවේල්ල, කොට්ටාව-පිලියන්දල, මහරගම-පිළියන්දල, මහරගම-කටුවාවල, මොරගහහේන-කොට්ටාව, කොට්ටාව-තලගල, හෝමාගම සහ හංවැල්ල යන මාර්ගවල ධාවනය වන පෞද්ගලික බස් රථ බව වාර්තා වේ.