බැටිකලෝ කැම්පස් ආයතනය සම්බන්ධව රජය ගැනීමට බලාපොරොත්තු වෙන තීරණය අතර විකල්ප 02 ක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව පළමු විකල්පය වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස එය පවත්වා ගෙන යෑම බවද ඔහු එහිදී සඳහන් කළේය.
අනෙක් විකල්පය එම ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යෑම බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් 100 ක් බඳවා ගෙන තිබීම සුබවාදී බව පැවසූ අමාත්‍යවරයා එම විශ්වවිද්‍යාලය සඳහා පහසුකම් ලබාදීම ඉතා වැඳගත් බවද සඳහන් කළේය.
බැටිකලෝ කැම්පස් ආයතනය සතුව ඉතා වටිනා සම්පත් පවතින බවත්, ඒවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළවත් දක්නට නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය වසර තුළ විශ්වවිද්‍යාල සඳහා 30,000 ක් බඳවා ගෙන තිබෙන අතර, මෙම වසරේ 41,500 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය.




