ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධියට අදාළව ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍රන් යන අය කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ (08 වැනිදා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළ සියලුම පාර්ශ්වයන්ට කුරුඳුවත්ත පොලිසිය හමුවේ ඊයේ (08 වැනිදා) පෙරවරුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි.
ඒ අනුව මෙම සිද්ධියට අදාළ පැමිණිලි කළ පාර්ශ්වය වන විවාහක රූ රැජන කිරුළ හිමි පුෂ්පිකාද සිල්වා, අදාළ තරගයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් කුරුඳුවත්ත පොලිසිය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ගේ ප්‍රකාශ එහි දී සටහන් කරගෙන තිබුණි.
මෙම සිද්ධියට අදාළ වගඋත්තරකාර පාර්ශ්වය වන ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි සහ නිරූපිකාවක වන චූලා පද් මේන්ද්‍රන් ඇතුළු පිරිසකගෙන්ද කුරුඳුවත්ත පොලිසිය ඊයේ (08 වැනිදා) ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් අත්අඩංගුවට ගත්තේ ඉන් අනතුරුවය. පසුව ඔවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරුණු අතර ඔවුන්ට මෙම 19 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන්ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙයි.
මේ අතර පොලිස් පරීක්ෂණයෙන් පසු කුරුඳුවත්ත පොලිසියෙන් පිටතට පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකා විවාහක රූ රැජන කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා, මාධ්‍යවේදීන් හමුවේ මෙසේ පැවසුවාය.
අපි උදේ 10 ඉඳන් පැය 04ක් තිස්සේ මේක සමථයකට පත් කරන්න බැලුවා මා අපකීර්තියට ලක් කළාට මාධ්‍ය සාකච්ඡාවක් තියලා හරි මගෙන් සමාව ඉල්ලන්න කියලා කිව්වා. ඒක කරන්න කැරොලයින්ලා බැහැ කියලා කිව්වා. එයට අකමැති වීම නිසා අපි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළා. ‘මට සමාව දෙන්න පුළුවන්. නමුත් අමතක කරන්න බෑ.’’ කියලා තමයි මට කියන්න තියෙන්නේ.
පොලිස් ඇප මත මුදාහැරීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසියෙන් පිටතට පැමිණි ලෝක විවාහක රූ රැජන කිරුළ හිමි කැරොලයින් ජුරිගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ සමාව නොගත්තේ ඇයිද යන්නයි.
‘‘මම කිව්වනේ පස්සේ කියන්නම් කියලා.’’ යනුවෙන් එහි දී ඇය පැවසුවාය. පසුව කැරොලයින් ජුරි මාධ්‍යයට ප්‍රකාශයක් නොකර පිටත්ව යාමට කටයුතු කරද්දී ලංකාවේ නම ජාත්‍යන්තරයේ කැත වුණානේ. පොඩ්ඩක් ඒ ගැන කියන්න යැයි එහෙම එකක් කළේ? යනුවෙන් දිගින් දිගටම මාධ්‍යවේදීන් විමසා සිටියද ඇය කිසිත් නොකියා පිටත්ව ගියාය.