ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් නිල්වැල්ල සුන්දර වෙරළතීරයට වැඩි ආකර්ෂණයක් ගෙන දෙමින් නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ නිල්වැල්ල දියයට කලාගාරය (Underwater Gallery Nilwella) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ආරාධනයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මහතා විසින් අද (10) නිල්වැල්ල වෙරළ තීරයේදී ජනතා අයිතියට පත් කෙරිණි.
ස්වාභාවික මෙන්ම මිනිස් ක්‍රීයාකාරකම් හේතුවෙන් මුහුදු ජීවීන්, මුහුදු ශාක සහ කොරල්පර විනාශය වළක්වා සාගරික පරිසර පද්ධතිය රැකගනිමින් කෘතීම මත්ස්‍ය අභිජනන පරිසරයක් ඇති කිරීමත්, කොරල්පර වර්ධනය සඳහා කෘතීම උපස්ථර නිර්මාණය කිරීමත් මඟින් සංචාරකයින් සඳහා නවමු අත්දැකීමක් ගෙන දීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවර අමාත්‍යාංශය සහ විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව මාතර නිල්වැල්ල ආශ්‍රිත මුහුදු තීරයේ මෙම දියයට කලාගාරය ස්ථාපිත කරන ලදී.