කහටගස්දිගිලිය, දියමයිලගස්වැව, වැවේ දිය නාමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඇදගෙන යාමට උත්සහ දැරූ අවස්ථාවේදී ගමේ පන්සලේ හිමි නමක් විසින් දියට පැන කිඹුලා සමග පොර බදිමින් කිබුලාගෙන් එම පුද්ගලයා බේරාගෙන ඇති බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
දියමයිලගස්වැව ශ‍්‍රී ධර්මරාජ විහාරස්ථානයේ 30 හැවිරිදි, පැල්ලන්දෙනියේ පියනන්ද හිමි සහ 70 හැවිරිදි දියමයිලගස්වැව පදිංචි ජේ.එම් විජේරත්න යන අය දියමයිලගස්වැව වැවේ ඊයේ (07) උදෑසන මෙසේ දිය නාමින් සිට ඇත.
හිමිනම දිය නා අවසන් වී නැවත විහාරස්ථානයට පැමිණීමට සූදානම් වෙමින් සිටියදී වැවේ දිය නාමින් සිටි විජේරත්න මහතා හට මෙම කිඹුල් ප‍්‍රහාරය එල්ල වී ඇත. කිඹුලා විසින් මෙම පුද්ගලයා ඇදගෙන යමින් සිටියදී හිමි නම වැවට පැන කිඹුලා සමග පොර බදමින් විජේරත්න මහතා බේරා ගෙන ඇත.
අනතුරුව ප‍්‍රදේශවාසීන්ගේ සහය ඇතුව මෙම පුද්ගලයා රෝහල් ගත කර ඇත. සිදුවූ කිඹුල් ප‍්‍රහාරය හමුවේ විජේරත්න මහතාගේ පාදයට බරපතල තුවාල සිදු වී අනුරාධුපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටී. එම අවස්ථාවට මුහුණ දුන් හිමිනමට කිසිදු අනතුරක් සිදුව නැත.