කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටින ජනතාවගෙන් ණය අයකර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරින් සමඟ අද (16) පැවති සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී යි.
කොවිඩ් වසංගතය හමුවේ මෙරට ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගැනීම සම්බන්ධව මෙහි දී මහ බැංකු නියෝජිතයෝ අගමැතිවරයාට කරුණු පැහැදිලි කර ඇත.
මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ මූල්‍ය ණය පහසුකම් ලබාගත් ජනතාව මුහුණදෙන ගැටලු කෙරෙහි මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.
ණය මුදල් අයකර ගැනීමේ දී ණයකරුවන් මුහුණ දෙන ගැටලු අවමකිරීම සඳහා සුදුසු පියවරක් අනුගමනය කරන ලෙස රාජපක්ෂ මහතා එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
වාරික ගෙවීමේදී පොලීය මුලින් ගෙවීමට සිදුවීම තුළින් ණය මුදල ගෙවීමට නොහැකි වන තත්ත්වයට ණයකරුවන් පත්ව ඇති බවත් පොලීය මෙන්ම ණය මුදල ද ගෙවීයන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
ණය ලබාදීමේ දී පදිංචි නිවස ඇපයට ගැනීමෙන් ණයකරුවන්ට නිවස ද අහිමවන අවස්ථා කොතෙකුත් ඇති නිසා, ඒ ගැන මානුෂීයව සලකා බලමින් එම ක්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි ද මෙහි දී අගමැතිවරයාගේ අවධානය යොමුවී ඇත.




