රඹුක්කන පොලිස් වසමේ කෑගල්ල දළුග්ගල ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකරන ළද මෙහෙයුමක දී අධි බලැති පුපුරණ ද්‍රව්‍යක් වන රතු රසදිය බවට සැක සහිත සිලින්ඩර තුනක් සොයාගෙන තිබේ.
එම භාණ්ඩ සමග කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
සොයාගන්නා ලද භාණ්ඩ අතර රතු රසදිය අඩංගු ලෝහ සිලින්ඩර 03ක්, ග්‍රින්ඩරයක්, කළුපැහැති තීන්ත බෝතලයක්, 12v සුදුපැහැති බල්බ 05ක්, බ්රේක් ඔයිල් බෝතලයක්, යකඩ ඇලවීම සඳහා ගන්නා ගම් බෝතලයක්, සෙලෝටේප් රෝලක්, ලැප්ටොප් බෑගයක් සහ ලාංචන සහිත ස්ටිකර් 07ක් වෙයි.
වැඩිදුර ප්‍රශ්‍ණ කිරීමේදී මෙම රතු රසදිය බවට සැක සහිත සිලින්ඩර ව්‍යාජ ලෙස සැකසූ ඒවා බව හෙලිවී තිබේ.
අන්තර්ජාලයෙන් නාසි හමුදාවේ ලාංඡන සියල්ල බාගත කර ගෙන මෙම ලෝහ සිලින්ඩර
ලියවන පට්ටලයකින් නිර්මාණය කළ බවත් සිලින්ඩරවලට බ්‍රේක් ඔයිල් දමා රතු බල්බ
සහ බැටරි ආධාරයෙන් රතු රස දිය ඇතුළේ ඇති ආකාරයට නිර්මාණය කළ බවත් සැකකරු
පිළිගෙන ඇත.
මෙම සැකකරු විසින් යුද සමයේ එල්.ටී.ටී.ඊ.යට ලැබී ඇති රතු රසදිය කෝටි ගණන් දී මිලදී ගැනීමට සොයන බ්‍රෝකර්වරුන් රවටා මුදල් සෙවීමට මෙම ව්‍යාජ රතු රසදිය සිලින්ඩර නිර්මාණය කර තිබේ. ඉන් පසුව මෙම රසදියම පෙන්වීම සඳහා පමණක් මොහු ලක්ෂ පහක මුදලක් බ්‍රෝකර්වරුන්ගෙන් අය කර තිබෙන අතර අත්අඩංගුවට ගෙන සිටියදී බ්‍රෝකර්වරයකු දුරකථනයට කතා කර රතු රසදිය සිලින්ඩර් පහක් මිලදී ගැනීමට ගැනුම්කරුවකු රැගෙන එන බව පවසා ඇත. එම ගනුදෙනුකරුට පෙන්වීමට පමණක් රුපියල් ලක්ෂ විස්සක මුදලක් ගෙවීමට එකඟවී ඇත.
මෙම සැකකරු පින්නවල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක නව නිපැයුම් සංගමයේ සභාපති ලෙසද කටයුතු කර ඇති අතර නව නිපැයුම්වලට දක්ෂතා ඇති අයකු බවත් හඳුනාගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශ 1හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම භාණ්ඩ තොගය සොයාගෙන තිබේ.