වත්මන් ආණ්ඩුවට දැවැන්ත විවේචනයක් වෘත්තියවේදීන්ගෙන් සහ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් එල්ලවෙමින් පවතින බව ජාතික ජනබලවේගයයේ නීතීඥයෝ සංවිධානයේ නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා.
ඔහු පෙන්වාදෙන්නේ ගොවියන්ගේ කාබනික පොහොර ආනයනයට අදාළව, මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනයට අදාළව, ඛනිජ තෙල් මිල වැඩි කිරීමට අදාළව මෙන්ම කොවිඩ් 19 රෝගය වැළැක්වීමට අදාළව ගත් ක්‍රියාමාර්ග අසාර්ථකවීමට අදාළව දැවැන්ත විවේචන එල්ල වී තිබෙන බවයි.
පොලිසිය බාර අමාත්‍යවරයා නිරූපණ ශිල්පියෙක් පිටුපස ගොස් ඇඳුම් පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති කරගත් බවත් ඔහු සඳහන් කරනවා.
එවන් වටපිටාවක දැවැන්ත වංචා හෙලිකිරීමට සහ රජයට සාධාරණ විවේචන එල්ල කිරීමට සමාජ මාධ්‍ය ජාල සැලකිය යුතු කාර්යබාරයක් ඉටු කර ඇති බව අද (13) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු කියා සිටියා.
එවන් අවස්ථාවක හදිසියේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් මඟින් දැනුම් දී ඇත්තේ අනීතික ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බව යැයි ඔහු පෙන්වා දෙනවා.