මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සියලුම පාසල් විෂයන් රූපවාහිනී නාලිකා විස්සක් හරහා විකාශනය කිරීමට කැබිනට් අමාත්‍යවරුන් එකඟ වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් ළමුන් සඳහා සියලුම විෂයන් නාලිකා 20ක් ඔස්සේ නොමිලේ ලබාදීමට අමාත්‍යවරුන් එකඟ වී ඇත.
මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ පටිගත කිරීමේ වැඩ කටයුතු සිදුවෙමින් පවතින අතර පටිගත කිරීම් අවසන් වූ වහාම සියලුම විෂයයන් රූපවාහිනී නාලිකා හරහා විකාශය කෙරෙනවා.මෙම සෑම අධ්‍යාපන නාලිකාවක්ම සියලුම රූපවාහිනිය මධ්‍යස්ථාන හරහා විකාශනය කිරීමේ පූර්ණ අයිතිය රජය සතුයි.
කෙසේ වෙතත් පාසල්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ගුරු උපදේශකවරුන් සහ අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීම,ඉගැන්වීමේ ක්‍රම වේදයන්හි පොදු ප්‍රමිතීන් පවත්වාගෙන යාම සිසුන්ගේ සහභාගිත්වය සහ ඉගෙනුම් කාර්ය සාධනය ඇගයීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතුවී තිබෙන බව රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙනවා.
එබැවින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ම ඇති සියලුම ආයතන හා මානව සම්පත් විභවයන් උපරිම ලෙස උපයෝගී කරගනිමින් ගෘහස්ථ ක්‍රියාකාරකම් තුළින් ‘දරුවන්ගේ අධ්‍යාපනය තිරසාර කිරීම’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මෙය අගෝස්තු 01 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.