අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන 31 වන දා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද (08) නියෝග කර තිබේ.
රුපියල් මිලියන 53ක් පමණ වටිනා කැරම්බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක්, දේශපාලන ක්‍රියාකාරකම් සඳහා 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කර බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණි.
මේ මස 26 වනදා සිට 28 වන දා දක්වා කාල සීමාව තුළ ඉතාලියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සමුළුවට සහභාගිවීමට කෘෂිකර්ම අමාත්‍යවරයාට ආරාධනා ලැබී ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ එම සමුළුවට සහභාගි වීමට අවශ්‍ය බැවින් මෙම තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසයි.