දිවයිනේ පළාත් නවය ආවරණය වන පරිදි ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය පැවසුවාය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති,‘ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම’ යන මැයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සුජාතා අලහප්පෙරුම මහත්මිය මෙසේ සදහන් කළේය.
ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් කොළඹ බත්තරමුල්ලේ සහ යාපනයේ පමණක් පවතින බවත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. එම අධිකරණවල නඩු අධික බව හේතුවෙන් නඩු කල්යාමේ ප්‍රවණාතාවක් ඇති බවත් ඇය පැවසුවාය.එම ගැටලු වැළැක්වීම සදහා ළමයින් වෙනුවෙන් ළමා අධිකරණ 18ක් පිහිටුවීමට රජයට යෝජනා කළ බව ද ඇය සඳහන් කළාය.
අධිකරණ අමාත්‍යවරයා ඉකුත් 2020 ඔක්තෝබර් මස 02 වන දින ළමාරක්ෂක අධිකාරියට දැනුම්දී සිටියේ ළමයින් සම්බන්ධව පවතින යල් පැනගිය නීති සංශෝධනයට පියවර ගන්නා ලෙස ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එම නීති සංශෝධන කටයුතු ඇරඹූ බවත් ඒ සඳහා ජනාධිපති නීතීඥයින්, මහාචාර්යවරුන්ගෙන් සැඳුම්ලත් විද්වත් මණ්ඩල 05ක් රැස්කර ඇති බව ඇය කියා සිටියාය.