ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික රැහැන් පාලම වන නව කැළණි පාලමේ කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටස් දෙකේ ඉදිකිරීම් අවසන් කර පාලම යා කිරීම මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) සිදු කෙරුණා.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු කොළඹ නගරය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හා සම්බන්ධ කිරීම නිසා කොළඹ නගරයට ඇතුළු වන වාහන සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගියා.එතරම් විශාල වාහන සංඛ්‍යාවක් සඳහා දැනට පවතින කැලණි පාලමේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව කැළණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා මූලික සැලසුම් සකස් කර 2014 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ අත්සන් කරනු ලැබුවා.
පැරණි කැලණි පාලමට යාබදව මංතීරු හයකින් යුත් නව පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය මහා මාර්ග මහාමාර්ග අමාත්‍යංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ජපන් යෙන් මිලියන 35,020ක අරමුදල් ජපන් ජාත්‍යන්තර නීතිගත සංස්ථාව (JICA) විසින් පිරිනමනු ලැබුවා.
සම්පූර්ණ දිග මීටර් 380 කින් යුත් මෙම පාලම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයෙන් පෑලියගොඩ පාලම හන්දිය කේන්ද්‍ර කොටගෙන ඔරුගොඩවත්ත හන්දිය සහ වරාය පිවිසුම් හන්දියෙන් අවසන් වේ. ඔරුගොඩවත්ත ඉඟුරුකඩේ සහ කැලණිතිස්ස යන මංසන්ධිවල අන්තර් හුවමාරු පිහිටා ඇත.











