ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජේ. ඊ. බී. රොෂාන් මහතා පොහොර බෙදා හැරීමේ කටයුතු අක්‍රමවත් වීම නිසා එම තනතුරින් ඊයේ (15 වැනිදා) සිට ඉවත් කරනු ලැබ ඇත.
කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ යල කන්නයට අවශ්‍ය පොහොර තොග නියමිත වේලාවට බෙදා හැරීමට අධ්‍යක්ෂවරයා කටයුතු නොකළ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ හේතුවෙන් අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කළ බවත්ය.කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ පෞද්ගලික සමාගම්වලින් ගෙන්වන ලද රසායනික පොහොර තොග කැලණිය සහ පෑලියගොඩ ගබඩාවල ගොඩගසා ඇති අයුරු පරීක්ෂාවට ලක් කළේ පෙරේදා (14වැනිදා) ය. සඟවා තිබෙන පොහොර බෙදා හැරීමේ කටයුතු ඊයේ (15 වැනිදා) දිනයේ සිට ආරම්භ කර තිබෙන බවත්, ඉදිරි දින දෙක තුළදී පොහොර තොග බෙදා හැරීම සිදු නොවුණ හොත් රජයේ පොහොර සමාගම් හරහා එම පොහොර තොග බෙදා හැරීමට කටයුතු කරන බවද එමහතා පැවසීය.
නිසිපරිදි පොහොර තොග බෙදානොහැරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ තවත් නිලධාරීන් සම්බන්ධ බවත් ඇමැතිවරයා පැවැසීය.




