ඉතිහාසයේ පළමු වරට විරෝධතාකරුවන් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාල භූමිය තුළට නිදහසේ පැමිණ විරෝධතාවය දැක්වීමට අවස්ථාව අද (16) හිමිවිය.
වාත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ඇතුළු නිරෝධායන කඳවුරුවල රඳවා සිටින වාත්තීය සමිති නායකයින් සහ සමාජ ක්‍රියාකාරිකයින් වහා නිදහස් කරන ලෙසත් නිරෝධායන මුවාවෙන් සිදුකරන මර්ධනය නතරකරන ලෙසත් ඉල්ලා කොළඹ ගාලු මුවදොර පිහිටි උද්ඝෝෂණ සදහා වූ වෙන් කළ ස්ථානයේ රැස්වී පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි අතර එහිදී ඔවුන්ට බාධාවකින් තොරව එම කාර්යාල භූමියට ඇතුළුවීමේ අවස්ථාව හිමිවිය.
පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් පැමිණ විරෝධතාකරුවන්ගේ අවශ්‍යතාවය විමසා සාකච්ඡාවකට අවස්ථාව ලබාදෙන බව දැනුම් දුන් අතර විරෝධතාකරුවන්ගේ ගමනට බාධා කරමින් යොදවන මාර්ග බාධක, පොලිස් වැටවල් යොදා නොතිබුණි. විරෝධතාකරුවන් විරෝධතා බැනරයක් ද රැගෙන ජනාධිපති කාර්යාල භූමියට ඇතුළු වී එහි අමුත්තන් ඇතුළු කරගන්නා ස්ථානය දක්වාම පැමිණි අතර එතැනදී පොලිස් නිලධාරීන් මැදිහත් වී ඔවුන්ට සංදේශයක් භාරදීමේ අවස්ථාව ද උදා කරදෙනු දක්නට ලැබිණි.
ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර විරෝධතාකරුවන් අසලදී තම රථයේ වීදුරුව පහත් කර ඔවුන්ට අත වනමින් ගමන් කළේය.
වෘත්තීය සමිති නායකයින් වන සමන් රත්නප්‍රිය ,වසන්ත සමරසිංහ, ඇතුළු ක්‍රියාකාරිකයින් රැසක් මෙයට සහභාගි වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් එම කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වී එම නිලධාරීන් සමඟ ඉන් පිටතට පැමිණ ඔවුන් වෙත සිය සංදේශය භාර දෙන ලදි.












