ගුරු, විදුහල්පති වෘත්තීය සමිති සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමග පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන්වී තිබෙනවා.
ඒ අනුව මාර්ගගත ගුරු වර්ජනය තවදුරටත් පවත්වාගෙන යන බවයි ගුරු සංගම් පවසන්නේ.මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත්තේ එළැඹෙන සඳුදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම මඟින් මෙම ගැටළුවට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි.
කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු විශ්වාසයක් නැති බව මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා
"පසුගිය ආණ්ඩුවේදි අපි විවිධ වැඩවර්ජන කිරීමේදී කැබිනට් අනු කමිටුවක් පත්කරලා අපේ වැටුප වෙනම අරගෙන සංවෘත සේවාවක් බවට පත්කරන්න කියලා තීරණයක් අරගෙන තියෙනවා.ඒ තීරණයත් ක්‍රියාත්මක වෙලා නෑ කියන කාරණාව අද අපි පෙන්වලා දුන්නා.ඒ වගේම සෞභාග්‍යයේ දැක්මෙත් තියෙනවා ගුරු විදුහල්පති සේවාවන් වෙනම සේවාවක් යටතට අරගෙන මේ ගැටලුව විසඳන්න."
මෙම ගැටලුව විසඳීම සඳහා විසඳුම් ප්‍රවේශ තිබියදීත් ගුරුවරුන් මෙසේ වර්ජනය කරන තෙක් ඒ කිසිදු විසඳුම් ප්‍රවේශයක් මේ වන තෙක් පාවිච්චි කර නැති බව ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා පැවසුවා.
මෙහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එළඹෙන 22 වනදා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට මේ වන විට ඔවුන් තීරණය කර ඇති බවයි.