අලි මිනිස් ගැටුම හේතුවෙන් ලෝකයේ වැඩිම අලි මරණ සිදුවන රට බවටත් අලි පහර දීමෙන් වැඩිම මිනිස් මරණ සිදුවන රටවල් අතරින් දෙවන තැනටත් ශ්‍රී ලංකාව පත්වී තිබෙනවා.
අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට අලි ඇතුන් 272 ක් පමණ මිය යන අතර 2019 වසරේ දී එය 407 ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම සාමාන්‍යයෙන් වසරකට මියයන පුද්ගල සංඛ්‍යාව 85ක් පමණ වන අතර 2019 වසරේ දී 122 නෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
පාර්ලිමේන්තුවේ දී මෙම තොරතුරු අනාවරණය කරමින් කෝප් කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දෙන්නේ අලි මිනිස් ගැටුම වැළැක්වීමට මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් කිරීම අත්‍යවශ්‍ය බවයි.
වාර්ෂික අයවැය මගින් මෙම අලි මිනිස් ගැටුම වැළැක්වීමට කෙතරම් මුදල් වියදම් කර තිබුණද එහි වැඩි වීමක් මිස අඩුවක් නැති බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා අවධාරණය කරනවා.
අලි වැට ඉදිකිරීම මගින් සිදුවන්නේ ගැහැණු සතුන් හා අලි පැටවුන් පමණක් කොටු වීම බැවින් මෙම අසාර්ථක පැරණි ප්‍රතිපත්ති අතහැර දමා ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු විසින් සකස් කර ඇති නව ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට කෝප් කමිටු වාර්තාව මගින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත.