අගමැතිවරයා සහ ගුරු විදුහල්පති වෘත්තිය සංගම් සමඟ ඊයේ (27) අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී එළඹෙන සඳුදා සිට නැවත සේවය කිරීමට සූදානම් වන ලෙස අගමැතිවරයා පවසා තිබෙනවා.
ඒ අනුව ලබන සඳුදා දින පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමේ දී මේ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණය ලබා දෙන බවත් එහිදී තමන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් පෙනී සිටින බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
"ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ පැහැදිලි අවබෝධයක මම ඉන්නවා.වැටුප් විෂමතාව අවම කිරීම අවශ්‍ය බවත් අපි රජයක් ලෙස පිළිගන්නවා.නමුත් රටේ පවතින තත්ත්වයත් ගෝලීය තත්වයත් සමඟ රටේ ආර්ථිකය ඉතාම පහල මට්ටමක පවතින නිසා ඉතා ඉක්මනින් වැටුප් ඉහළ දැමීමක් කිරීමට රජයට හැකියාවක් නොමැති බව ඔබ හොඳින් දන්නවා." යැයි මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළා .
රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ තමන්ට පැහැදිලි අවබෝධයක් තිබෙන අතර එකවර වැටුප් වැඩි කිරීමට නොහැකි වුවද වැටුප් විෂමතාව පිළිබඳ සුබෝධනී වාර්තාවට අනුව කඩිනමින් තීරණයක් ගන්නා ලෙස වෘත්තිය සංගම් නියෝජිතයින් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියා.
වසර විසි හතරක් පුරා පවතින මෙම ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට සාධාරණ විසඳුමක් මෙතෙක් නොලැබුණු අතර අගමැතිවරයා මෙම ගැටළුවට මැදිහත් වීම පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයන් ස්තූතිය පළ කළා.













