යාපනය - කෝපායි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී කඩු පොලු වලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අදත් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
පෙරේදා 8.30 ට පමණ වූ මෙම සිද්ධියෙන් පුද්ගලයන් 7 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. කෝපායි රෝහලට ඇතුළත් කළ ඔවුන් අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඉන් එක් අයෙකුගේ එක් අතක් ශරීරයෙන් වෙන් වී ඇති අතර, පසුව පැය 5 ක ශල්‍යකර්මයකින් පසු එම අත යළි බද්ධ කළ බවයි. එම ශල්‍යකර්මය සිදුකර ඇත්තේ යාපනය ශික්ෂණ රෝහලේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ඉලන්චේලියන් පල්ලවන් විසින්.
ඔහු මීට පෙර ද එවැනි සත්කම් කිහිපයක් සිදුකර තිබුණා. යාපනය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් 5 ක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයන් දෙදෙනෙකු නිශ්චිතව හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.