එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් ශ්‍රී ලංකාවේ සාගර පාරිසරික කලාපයට හා සාගර ජීවීන්ට සිදුවූ හානිය, ජාතික ආර්ථීකයට සිදු වූ බලපෑම සහ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ නිකුත් කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබෙනවා.
මෙම යෝජනාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාර දෙනු ලැබීමෙන් පසු අලුත්ම න්‍යාය පුස්තකය සම්බන්ධ පරිපූරකයටද ඇතුළත් කරනු ලැබ ඇති අතර එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි දිනෙක ඉදිරිපත් කිරීමට නියමිතය.
කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ගිනිගෙන විනාශ වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට සාගර සහ සත්ත්ව ජීවිත විනාශ කරමින් විශාල ආර්ථික හානියක්ද සිදු කර ඇති හෙයින් ඒ පිළිබඳ කරුණු සලකා බැලීම මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අරමුණ බවද එම යෝජනාවේ සඳහන් වේ.
ඒ අනුව මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් නෞකාව මුහුදුබත් වීමෙන් ඇති වූ ආර්ථික හානියේ ප්‍රමාණය ගණනය කිරීම, එමඟින් ජීවෙනෝපාය සම්බන්ධයෙන් බලපෑම් ඇති වූ පුද්ගලයන් සංඛ්‍යාව ඇස්තමේන්තු කිරීම, එලෙස පීඩාවට පත් වූ ජනතාවට ලබා දීම සඳහා මූල්‍යමය සහන සහ අනිකුත් වන්දි නිර්දේශ කිරීම සහ ව්‍යසනය හේතුවෙන් හානියට ලක්වූ සාගර හා සත්ව ජීවිත සහ සාගර පතුලේ පරිසර විනාශය ගණනය කිරීම ආදී කරුණු සලකා බලනු ඇත.




