කොවිඩ් ආසාදිත දරුවන් ශීඝ්‍ර ලෙස වැඩිවීම සැලකිල්ලට ගෙන සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයස අවුරුදු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් ඊයේ (11) සිට ආරම්භ කළ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
එසේම ළමා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දීමටද තීරණය කළ බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ් ආශ්‍රිතව සංකූලතා මතු වන්නේ නම් දරුවන් රෝහල් කරා ගෙන ආ යුතු බවද සඳහන් කළේය.
මේ අතර කොවිඩ් ආසාදිතවූ දරුවන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම පිළිබඳ විමසීම සඳහා1390 යන ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි පවසන විශේෂඥ වෛද්‍යවරයා නිදන්ගත රෝග හෝ වෙනත් දීර්ඝකාලීන රෝගයන්ගෙන් පෙළෙන දරුවන් අනිවාර්යෙන්ම රෝහල්වලට යොමු කළ යුතු බවද සඳහන් කළේය.
නිවසේ සිට ප්‍රතිකාර කිරීමේදී දරුවා රැකබලා ගැනීමට යම් වැඩිහිටියෙකු නිරන්තරයෙන්ම ළඟ සිටිය යුතු බවත් දුරකතන මාර්ගයෙන් ප්‍රතිකාර නියම කිරීම් සිදුවන හෙයින් ඊට අදාල පහසුකම් ලබාදීමට භාරකරුවන් සූදානමින් සිටිය යුතු බවත් දීපාල් පෙරේරා මහතා පැවසුවේය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට කොවිඩ් ආසාදිත දරුවෝ එකසිය පනස් දෙනක් පසුගිය සතිය වනවිට ඇතුළත් කරනු ලැබ සිටි අතර ඒම දරුවන් වරින් වර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීම නිසා එම සංඛ්‍යාව මේ වනවිට තරමක් අඩුවී ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.




