කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ නැග ඇති බවයි.
මීට සතියකට පමණ පෙර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියේ කොවිඩ් ආසාදනය වූ දරුවන් තිස් දෙනකු පමණක් බවත් දරුවන්ට කොවිඩ් ආසාදනයවීම වැඩිවෙමින් තිබෙන නිසා මවුපියන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුහ.
දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ දරුවන් එන්නත්කරණයට ලක් නොවන පිරිසක් හෙයින් කොවිඩ් වැළඳීමෙන් ඒ අයට බරපතල සංකූලතා මතුවිය හැකි බවත් කොවිඩ් වැළඳෙන දරුවන් අතරේ බහු ඉන්ද්‍රිය ආසාදනය නමැති රෝගයක්ද මේ දිනවල පැතිර යමින් තිබෙන බවත්ය.
දරුවන් සිටින නිවෙස්වල වැඩිහිටියන් බාහිර සමාජයේ සිට වයිරසය නිවෙසට ගෙන නොඒමට වග බලා ගත යුතු බවත් දරුවන් බාහිර සමාජය සමඟ මුහුවීමද හැකිතාක් දුරට වළක්වා ගත යුතු බවත් දරුවන්ට කොවිඩ් වැළඳීම වැඩිවන ප්‍රවණතාවයක් මතුවී ඇත්තේ විශේෂයෙන්ම මේ දිනවල පැතිර යන ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය නිසා විය හැකි බවත් හෙතෙම පැවසුවේය.
මේ වනවිට කොවිඩ් ආසාදනය වූ දරුවන් දස දෙනෙකු පමණ මියගොස් ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය