ශ්‍රී ලංකාවේ දැනට භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් ලෙස ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ වැඩපිළිවෙළට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ඒ අනුව මෙරට දී දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය සංචිත පවත්නා ප්‍රදේශ, ප්‍රමාණ සහ ඒවා භාවිත කරමින් කළ හැකි නව නිෂ්පාදන පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා එම ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා ඛනිජ වැලි සමාගම සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය මගින් ඉල්මනයිට්,සර්කෝන්,රූටයිල් සහ මිනිරන් යන ඛනිජ ද්‍රව්‍ය කැණීම, පිරිපහදු කිරීම සහ අපනයනය කිරීම සිදුවනවා. එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ මධ්‍යස්ථානය හරහා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කටයුතු සිදු වනවා.
කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඉහත ඛනිජ ද්‍රව්‍ය හැරුණු කොට මෙරට දී දැනට හඳුනාගෙන ඇති අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය උපයෝජනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන නිසා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි.
එමගින් මෙරටට විදේශ විනිමය රැගෙන එමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම තමාගේ අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.