සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් ඉදිරි සති දෙක තුනක කාලයේදී පාසල් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවය. එහිදී පළමුව ළමුන් 200 ට අඩු පාසල්, පෙර පාසල් හා 6 වන ශ්‍රේණිය දක්වා වූ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එමහතා පැවසීය.
ළමුන් 200ට අඩු පාසල් 5000 ක් පමණ ඇති බවත් එම පාසල් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (15) පැවති සාකච්ඡාවකදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව දින වකවානු තීරණය කිරීම හා ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරීමටත් මෙහිදී තීරණය වූ බවයි.
එමහතා තවදුරටත් පැවසුවේ මේ වන විට පාසල් ගුරුවරුන් , අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවත්, එයට අමතරව මේ වන විටත් එන්නත්කරණය කර නොමැති පාසල් ප්‍රවාහන සේවාවන්හි නිරත වන්නන් සියල්ලන්ම ඉතා කඩිනමින් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවත්ය.
මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන්, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ද සහභාගි වූහ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.