ඊයේ (27) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ දි පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පැවසුවේ රටට එරෙහිව එල්ල වන කිසිදු බලපෑමකට යටත් නොවී අනන්‍යතාවය තහවුරු කරගනිමින් ස්වාධීනව රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට රජය කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග සාර්ථකව ජය ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල සහයෝගයක් රටට හිමිව ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා
"කොවිඩ් 19 වසංගතය නිසා උද්ගතවු සියලුම අභියෝග මධ්‍යයේ අපේ රටේ සංවර්ධනය හා සංහිඳියාව සම්න්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල ලබාගත් ප්‍රගතිය පිළීබඳ සවිස්තර කරුණු අපි මානව හිමිකම් කවුන්සිලයට අඛණ්ඩව ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් අපේ රජය පැහැදිලි කැපවීමක් තිබෙනවා. අපි මේ සියල්ල කරන්නේ එක කොන්දේසියකට යටත්වයි. අපේ රටේ ගැටලු විසඳිම සම්න්ධයෙන් වගකීම පැවරෙන්නේ අපේ රටේ දේශීය ආයතනවලටයි. ශ්‍රි ලංකාවේ ජනතාවගේ අපේක්ෂාවන් අපේ රටේ සංස්කෘතියට අනුකූලව තමයි මේ ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමට ඉදිරිපත්වෙලා තියෙන්නේ. ඒ කාර්යභාර්ය විදේශීය ආයතනවලට පැවරීමට අපි එකඟවන්නේ නෑ. ඒක අපේ රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිය හා සම්ප්‍රදායට අනුකූලව සියලුම රටවල් වලට උස් පහත් භේදයකින් තොරව සමානතාවයෙන් සැලකිය යුතුයි. ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගෙන අපේ රටට පමණක් සීමා වූ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අපි කිසිසේත් එකඟ වන්නේ නැහැ. අපේ රටට විරුද්ධ සාක්ෂි රැස් කරගෙන ඒවා විශ්ලේෂණය කරලා අපේ රට ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යාමට පදනමක් සකස් කිරීමට අපි එකඟ වන්නේ නැහැ.
අපේ රටට විරුද්ධව සාක්ෂි ලබා ගන්නේ සම්පූර්ණයෙන් විනිවිදභාවයෙන් තොරවයි. මේ සාක්ෂි ලබා දෙන අයගේ අනන්‍යතාවය පිළිබඳ කිසිදු තොරතුරක් නැහැ. එම නිසා මේ සම්පූර්ණ ක්‍රියාදාමය ස්වභාවික යුක්තියට පටහැනියි. ඒ නිසා අපි කිසිසේත් මේවා පිළිගන්නේ නැහැ.
අපේ රටට වැදගත් රටවල් සමග අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගට සාකච්ඡා සිදු කළා.
මේ සියලු සාකච්ඡාවල හුදු ප්‍රතිඵලය තමයි අනාගතයේ මේ රටට මුහුණ දෙන්න තිබෙන අභියෝගවලට ඒ රටවල් සහයෝගය ලබා දෙන බවට වන යහපත් ප්‍රතිචාරය අපට ලැබුණා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.