බන්ධනාගාර තුළ දී පාතාල ක්‍රියාකරුවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය ලබාදෙන බන්ධනාගාර නිලධාරීන් සේවයෙන් නෙරපීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ දැනට සිරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාල කල්ලි සාමාජිකයින්ගේ ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යාමට බන්ධනාගාර නිලධාරීන්ගේ හැසිරීම බලපාන බවයි.බන්ධනාගාර තුළ සිදු වන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා සාධනීය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර ඒ හේතුවෙන් නීතිවිරෝධී කටයුතු විශාල ලෙස අඩු වී තිබෙන බව වාර්තා වනවා .
බන්ධනාගාර නිලධාරීන්ගේ ආදර්ශමත් හැසිරීම් මගින් ඔවුන්ගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය බවත් එසේ නොකරන අය සේවයෙන් නෙරපා හැරිය යුතු බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
ඔහු මෙම අදහස් පළ කළේ "බන්ධනාගාර තුළ කැරලි සහ ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීමේ සිදුවීම් සබැඳි ආරක්ෂක සැලැස්ම සඳහා සූදානම් වීම" යන තේමාව යටතේ බන්ධනාගාර කොමසාරිස්වරුන් සහ අධිකාරීවරුන් සඳහා ගාල්ල උණවටුනේ දී පසුගියදා (30) පැවති වැඩමුළුවකට සහභාගි වෙමින්.
මෙම අවස්ථාවට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් වී.ආර්.සිල්වා (විශ්‍රාමික ), බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ජාතික විශේෂඥ ආචාර්ය නිලුපුල් ගුණවර්ධන මහතා ද සහභාගී වුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.