මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමඟ මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ දී ඊයේ (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බවත්ය.
ඒ සඳහා අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිවරයාටත් උපදෙස් ලබා දී ඇති බවයි. වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
යුරෝපා සංගමය මගින් ලබාදෙන ජී.එස්.පී ප්ලස් ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම මෙම සංචාරයේ අපේක්ෂාව වී ඇත.
ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ ඉතිහාසයේ කිසිඳු කාල පරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ද සදහන් කළේය.
මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ ඒ හේතුවෙන් රජය අපේක්ෂා කළ සම්පූර්ණ සැලසුම් ඉටු කර ගැනීමට බාධා එල්ල වූ බවත් එසේ තිබියදීත් දීර්ඝකාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබාදීමට කටයුතු කළ බවද පැවසීය.
රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව තමා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේදීද ප්‍රකාශ කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ සිවිල් සංවිධාන සමග අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියාකරන අතර ඒවායේ සහාය රටේ සංහිඳියාවට සහ දියුණුවට ලබාගන්නා බවයි.
පසුගිය දෙවසර තුළ පැවති උද්ඝෝෂණවලට කිසිඳු අවස්ථාවක බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල නොකිරීමට තමා උපදෙස් ලබාදුන් බවත් උද්ඝෝෂණ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වෙනම ස්ථානයක් වෙන්කළ බවත්
රජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ ද ඒවාට අවධානය යොමු නොවන අතර කුඩා සිදුවීමක් පාදක කරගනිමින් විවිධ පාර්ශව සාවද්‍ය මතවාද ඇතිකිරීම කණගාටුදායක බව ද ජනාධිපතිතුමා කීවේය.
යුරෝපා සංගම් නියෝජිතයන් මෙහිදී විශේෂ අවධානය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් යොමු කළ අතර කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.
යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට සිය සංචාරයේ දී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් විධිමත් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව දූත පිරිස සඳහන් කළහ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.