සීනි, පරිප්පු ,කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කරමින් ඊයේ (03) රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍ර 07ක් මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග අවලංගු වනවා.
පසුගිය සැප්තැම්බර් 02 දා සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබූ ගැසට් පත්‍රය ද 2020 වසරේ මාර්තු 17 දා මයිසූර් පරිප්පු, බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබූ ගැසට් පත්‍රය ද මෙම නව ගැසට් පත්‍රය මගින් අවලංගු කර ඇත.
එමෙන්ම 2020 වර්ෂයේ මාර්තු 12 වන දා බඩ ඉරිඟු සහ කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පැන වූ ගැසට් පත්‍රය ද මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමඟ අවලංගු වී තිබෙනවා .
මීට අමතරව 2017 වසරේ දෙසැම්බර් 06 වන දා කරවල,පොල්, වියලි මිරිස්, උම්බලකඩ ඇතුළු තවත් භාණ්ඩ කීපයක් සඳහා ද ජනවාරි 27 වනදා වියළි හාල්මැස්සන්, මුංඇට, ආනයනික අර්තාපල් සඳහා මෙතෙක් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ද අවලංගු කර ඇත.
තවද 2016 ජූලි මස 14 වන දා කඩල, තිරිඟු පිටි, ආනයනික කිරිපිටි සඳහා මෙන්ම සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍ර ද අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



