හුදු දේශපාලන පක්ෂයකට වත්මන් අර්බුදයෙන් රට ගොඩගත නොහැකි බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එය කළ හැක්කේ බලවත් ජනතා ව්‍යාපාරයක් පිහිටුවා මෙම අසාර්ථක ආණ්ඩුව පෙරළා දැමීමෙන් පමණක් බව පවසනවා.
ජාතික ජන බලවේගය විසින් ඊයේ (23) නුගේගොඩ දී සංවිධානය කර තිබූ ජන ජනරැළිය අමතමින් ඔහු කියා සිටියේ රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට ද මෙම ජනතා ව්‍යාපාරය දායක විය යුතු බවයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයින්, ගොවීන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන සිටින බව ඔහු පැවසුවා.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ රට සංවර්ධනය කිරීමට ඉහළ සිට පහළට සියලු දෙනාම සූදානම් විය යුතු බවත් වත්මන් ආර්ථික අර්බුදය ස්වභාවික හේතුවක් නිසා නොව පසුගිය වසර 74 තුළ විවිධ රජයන් විසින් අනුගමනය කරන ලද අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති නිසා බවයි.
"අපි ජීවත් වෙන්නෙ දුක් විඳින්න අවශ්‍ය රටක නෙමෙයි.අපේ රට ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක්. පසුගිය වසර 74 තුළ බලයේ සිටි රජයන් ජාතික ආර්ථිකය, දේශීය කර්මාන්ත සහ වැවිලි ක්ෂේත්‍රය විනාශ කර මේ අර්බුදයට පත් කළා."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




