විපක්ෂය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය ලබා නොදෙන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ නායක රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
"අපි ඒකට සහාය දෙන්න අවශ්‍ය නෑ. අපේ පක්ෂ 10 වශයෙන් සහාය දෙයි කියලා මම හිතන්නේ නෑ. මගේ පක්ෂය නම් සහාය දෙන්නේ නෑ. අපි ජනාධිපති ක්‍රමය නැති කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. නමුත් ජනාධිපතිවරයාට එරෙහිව ගේන යෝජනාවේ අර්ථයක් නෑ."
මේ අතර විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර රටේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ නිවැරදි දැක්මක් තිබිය යුතු අතර එසේ නොමැතිව වත්මන් ආණ්ඩුව ඉවත් කළහොත් රට තවදුරටත් අරාජික වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
" අපට ඔවුන්ගේ විශ්වාසභංගයට සහාය දිය හැක්කේ කොන්දේසි දෙකක් යටතේ. එකක් තමා 113 තිබිය යුතුයි. ඔව් දැන් ඒක නම් හරි. දෙවැනි කොන්දේසිය තමයි මේ ආණ්ඩුව පෙරළනවා නම් ඊළඟට අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා රටේ වගකීම භාරගන්න ඕනේ. සමගි ජන බලවේගය ජාතික එකඟතා ආණ්ඩුවකට එකතු වීමට ලෑස්ති නැත්නම්,මේ ආණ්ඩුව පෙරළනවා කියන්නේ රට අරාජික වෙනවා. අපි සජබයට කියන්නේ මේ ආණ්ඩුව පෙරළනවා නම් සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවට එකතුවීමට එකඟතාවය පළ කරන්න."අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




