හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් දේශපාලඥයන් කිහිප දෙනෙකුගේ නිවෙස්වල තිබී ගෑස් සිලින්ඩර, ඩීසල්, පරිප්පු සහ රසායනික පොහොර තොග සොයා ගෙන ඇති බව වාර්තා වනවා.
පසුගියදා අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් විසින් සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමත් සමග රට පුරා ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසකගේ නිවාස සහ දේපළ විනාශ කරමින් ගිනිතැබීමට ජනතාව කටයුතු කළා.
ඒ අනුව එම අවස්ථාවේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු , කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වල තිබී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර 140 ක් පමණ සොයා ගෙන තිබෙනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාගේ කුරුණෑගල වැව පාරේ පිහිටි නිවසේ පමණක් ලාෆ් ගෑස් සිලින්ඩර 80ක් පමණ තිබී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂට අයත් තිස්සමහාරාම කිරින්ද මාගම ප්‍රදේශයේ පිහිටි නිවසේ ගබඩාවක තිබී යූරියා පොහොර මිටි 300ක්, ඩීසල් ලීටර් 3000ක් ,වී මිටි 200ක් සහ පරිප්පු තොගයක් හමුවී ඇති අතර ඒවා ජනතාවට බෙදා දීමෙන් පසුව නිවස ගිනි තබා විනාශ කර ඇත.
එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි ගොවිපලක තිබී යූරියා පොහොර මිටි 400කට ආසන්න ප්‍රමාණයක් සහ තවත් රසායනික පොහොර මිටි තොගයක් හමුවී ඇති අතර අක්කර 50 කින් පමණ සමන්විත මෙම ගොවිපලට ද් ගිනිතබා විනාශ කර ඇති බව සිරිපුර පොලිසිය පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




