තිස් වසරකට අධික කාලයක් පුරා මෙරට වෙළාගෙන තිබූ මිලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන් පරදා මාතෘභූමිය නිදහස් කර අදට (18) වසර 13ක් සපිරෙනවා.
එම කාලය තුල මෙරට ආගමික නායකයින්, රාජ්‍ය නායකයින්, රණවිරුවන් පමණක් නොව දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් ඝාතනයට ලක්වුණා.
ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මගින් මෙරට දමිළ වැසියන් මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් ඉතා නින්දිත ලෙස යුද වැදුණු එල්.ටී.ටී.ඊ සංවිධානය 2009 මැයි 18 වන දා පරාජයට පත් කර ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් මුදා ගැනීමට මෙරට ආරක්ෂක අංශ සමත් වුණා.
වසර තිහක් පුරා මෙරට අභීත රණවිරුවන්ගේ ඇස් ඉස් මස් ලේ දන් දෙමින් සිදුකළ මහා යුද්ධය මීට වසර 13කට පෙර අදවන් දිනක නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත් වීමත් සමග නිමාවට පත්වනවා.
කෙසේ වෙතත් එල්ටීටීඊ හිතවාදීන් විසින් අද දිනයේ ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට පසුගිය දිනක ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් 'ද හින්දු' පුවත්පත වාර්තා කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කර අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කළා.
මේ අතර බෙදුම්වාදී අරගලයෙන් මියගිය දමිළ ජනතාව සිහිපත් කරමින් අද දිනයේ මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් හි දී සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




