නාරහෙන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හල හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහනදායි මිලට ඉන්ධන ලබා දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බවත් පවතින කොන්දේසි වලට යටත්ව මන්ත්‍රීවරුන්ට උපරිමය රුපියල් 8000 ක ඉන්ධන පමණක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා
එමෙන්ම නාරහෙන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවට දැනුම් දී තිබිය දී දිගු පෝලිම්වල රැඳී සිටීම කිසිදු ඵලක් නැති බවයි.
“අපි ඊයේ ඉල්ලීමක් කළා, පෙට්‍රල්වලට රැඳිලා ඉන්න එපා කියලා. රැඳිලා ඉන්න එපා කියලා ඉල්ලීම කළේ ඊයේ වෙනකල්ම ඒ නෞකාව අපිට ගන්න බැරිවෙලා තිබුණා. ඒ නිසා තමා අපි ඉල්ලීමක් කළේ, දවස් තුනක් යනකල් පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා කියලා. නමුත් මට හිතාගන්න බැහැ පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා කියද්දිත් විශේෂයෙන්ම පොලීසියටත් දැනුවත් කළා. ඒත් අද දවසේත් අපි දකිනවා විශාල වශයෙන් පෙට්‍රල්වලට විශාල පෝලිම් තියෙනවා. පෝලිම්වල හිටිය ට අද දවසේ නිකුත් කරන්න පුළුවන් කමක් නෑ පෙට්‍රල්. ඩීසල් සම්පුර්ණයෙන්ම නිකුත් කරලා තියෙනවා. ඊයේ රෑ 10.30ට තමා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කථා කරලා එළියේ තියෙන නෞකාවට මුදල් ටික ගෙව්වේ. අද උදේ 8.30ට තමා ඒ නෞකාව අපේ වරායට ආවේ. ඒ නිසා අද රෑ වෙනවා ඒ ඉන්ධන ටික ගොඩබාන්න. ගොඩබාලා දවස් දෙකක් යනවා අනිවාර්යයෙන්ම හැම ෂෙඩ් එකකටම පෙට්‍රල් ලබාදෙන්න. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලනවා ජනතාවගෙන් රැස්වෙලා ඉන්න එපා...කිසිසේත්ම අද දිනයේ පෙට්‍රල් ලබාදීමට ක්‍රමයක් අපිට නෑ."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.






